ශ්‍රී ලංකාවට මැලේ ආහාර සංස්කෘතිය ගෙන ආවේ මෙරට මැලේ ප්‍රජාවය - SriLanka Malay- මැලේ හෙවත් ජාවා

Post Top Ad

Responsive Ads Here

ශ්‍රී ලංකාවට මැලේ ආහාර සංස්කෘතිය ගෙන ආවේ මෙරට මැලේ ප්‍රජාවය

Share This
ලිපිය කියවන අයගේ කටට කෙළ උනන්නට ඉඩ ඇති බව මම මුලින්ම අනතුරු අඟවමි. ලිපිය ලියන මගේ ද කටට කෙළ උනමින් තිබේ. ඊට හේතුව ලිපිය ලියැවෙන්නේ ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය පෝෂණය කරන මැලේ ආහාර පිළිබඳව බැවිනි.


ශ්‍රී ලංකාවට මැලේ ආහාර සංස්කෘතිය ගෙන ආවේ මෙරට මැලේ ප්‍රජාවය. මේ වන විට ශ්‍රී ලංකාවේ මැලේ ජනතාව ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 50,000 ක් පමණ වෙති. එහෙත් එම ප්‍රමාණය ඊට 100.000 වඩා බොහෝ වැඩි විය යුතු ය. ඊට හේතුව බොහෝ මැලේ ජාතිකයන් පිරිසක් සිය මැලේ අනන්‍යතාවයෙන් බැහැරව මෙරට මුර් හෙවත් මරක්කල ප්‍රජාව තුළට අවශෝෂණය වී ඇති බැවිනි.

ශ්‍රී ලංකාව හා මලයානු කලාපය අතර සබඳතා පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට ගියත් වර්තමානයේ මෙරට ජීවත්වන මැලේ ප්‍රජාවේ ඉතිහාසය ආරම්භ වන්නේ යටත් විජිත යුගයෙනි. මෙරට ලන්දේසි පාලකයෝ ඔවුහු පිටුවහල් කරන ලද වංශාධිපතියන් හා වෙනත් සිරකරුවන්, භට කණ්ඩායම් වශයෙන් හා වෙනත් ආකාරයන්ගෙන් මැලේවරුන් මෙරටට රැගෙන ආහ. මේ පැමිණි පිරිස අතර ද දැඩි විවිධත්වයක් තිබුණි.

ඊට හේතුව මේ මැලේවරුන් පැමිණ තිබුණේ මලයානු කලාපයේ ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ හා සුන්ඩා වැනි විවිධ ප්‍රදේශවලිනි. මේ නිසා ශ්‍රී ලංකාව තුළදී මලයානු කලාපයේම විවිධත්වය ගොනුවී තිබේ. ඒ “මැලේ” ජාතිකයන් ලෙසය.

ඔවුන්ගේ පැමිණීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණේ මැලේ ජාතිකත්වය පමණක් නොවේ. ඔවුන්ගේ සංස්කෘතියත් ලැබුණේය. ඒ සංස්කෘතිය තුළ ආහාර සංස්කෘතිය ද උප සංස්කෘතියකි. එමෙන්ම මලයානු කලාපයේ වැවුණු කංකුං, දූරියන් හා රඹුටන් වැනි පලතුරු හා ශාක විශේෂ බොහෝ ගණනක් ද ඔවුන් සමඟ පැමිණ ලංකා භූමියේ පැළපදියම් වූයේය. මැලේ බසින් “දුරි” යනු “කටු” ය. ‘රඹුත්’ යනු ‘කෙඳි'ය. එවිට කටු සහිත ගෙඩිය දූරියං ය. කෙඳි සහිත ගෙඩිය රඹුටන් ය.

මැලේ ආහාර ගැන සිහිවෙද්දී මට එක්වරම සිහිගන්වන රසමුසු පෞද්ගලික අත්දැකීමක් තිබේ. ඒ මීට වසර කිහිපයකට පෙර කිරින්දෙ මැලේ ජනතාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සකස් කිරීමට ගිය අවස්ථාවේදී ගමේ වැඩිහිටි මැලේ කාන්තාවන් සමඟ එක්ව “නාසි ගෝරෙං” බත් හා ජා දොදොල් සකස් කළ අවස්ථාවයි. අනතුරුව අපි ගමේ මැලේ ජනතාවත් සමඟම එක්ව ඒවා බුක්ති වින්දෙමු.

මැලේ බසින් “නාසි” යනු “බත්” ය. “ගෝරෙං” යන්නෙහි අරුත “බැදපු” යන්නයි. එනම් “බැදපු බත්” හෙවත් Fried rice ය. එහෙත් මැලේ “බැදපු බත්” සකස් කිරීමට යොදා ගන්නේ විශේෂිත කුළුබඩු මිශ්‍රණයකි. සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස්වලට වඩා නාසි ගෝරෙංවල වෙනස් රසයක් ඇත්තේ එබැවිනි. සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් නම් හදන්නේ බත් තෙලෙන් බැද අජිනොමොටෝ එක් කිරීමෙනි.

මගේ එක් මැලේ හිතවතකුගේ නිවසේදී ඔහු මට නාසි ගෝරෙං සංග්‍රහයක් කළේය. එහිදී ඔහු එම බත් එකට මිශ්‍ර කර ගැනීමට මට “නස් නාරං” බෑයක් ද දුන්නේය. මගේ මිතුරා කීවේ නාසි ගෝරෙං අනුභව කරන විටදී නාස් නාරං යුෂ ඊට එක්කර ගැනීම තමන්ගේ පැරැණි සම්ප්‍රදායක් බවය. බම්බලපිටිය හන්දියේ පිහිටා තිබෙන මැජෙස්ටික් හෝටලයේදී ද වරක් මේ ආකාරයට නස් නාරං බෑයක් නාසි ගෝරෙං බතට තබා තිබුණා මතකය.

නාසි ගෝරෙංවලට අමතරව බත් යොදාගෙන සකස් කරන නාසි කෙබුලි (Nasi kebuli) හා නාසි කෙබාක් (Nasi kebak) වැනි ආහාර ද ඉතා රසවත්ය. කෙසේ නමුත් ඒවා මැලේ නොවන අපට බුක්ති විඳීමට ලැබෙන්නේ කලාතුරකිනි.

වර්තමාන ලංකාවේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නා මැලේ අච්චාරුව ද මෙරට මැලේ ජනතාවගෙන් ලද දායාදයකි. එය සිංහල අච්චාරුවට වඩා වෙනස් වන්නේ පැණි රස වැඩි බැවිනි. ඒ එයට රටඉඳි එක්කරන නිසාය.

මැලේ ආහාර අතර මස් වර්ගවලින් සකස් කරන ආහාරවලට හිමිවන්නේ විශේෂ තැනකි. හරක් සහ එළු බොකු හැඳින්වෙන “බාබත්” යන වචනය ද මැලේ සම්භවයකින් යුක්තය.

මැලේ පිට්ටුවලට ගැළපෙන කරිය “බාබත්” බව මැලේ පිළිගැනීමයි. කොටු හැඩයට මස් කපා විශේෂ කුළුබඩු මිශ්‍රණයක් එක්කර පලහා කෝටුවල අමුණා සකස් කරන “සතේ” (Sattay) ද මැලේ ආහාරයකි. මෙහි රසය සාමාන්‍ය “බාබකියු” මාංස රසයට වඩා වෙනස් ය.

මැලේ වරුන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර පැටිස් විශේෂයක් ද තිබේ. එය හැඳින්වෙන්නේ “පැස්තොල්” (Pastol) යනුවෙනි.

සාමාන්‍ය පැටිස්වලට වඩා ප්‍රමාණයෙන් විශාල මේ පැස්තොල් පිරවීමට බොහෝ විට මස් හෝ බාබත් හෝ යොදා ගනියි.

මැලේ රසකැවිලි සංස්කෘතිය ද රසයෙන් පොහොසත් ය. ලංකාවට හදුන්වාදුන් වටලප්පන් හා ජා දොදොල් ඒ අතරින් ප්‍රධානය. එහෙත් මැලේ බසින් වටලප්පන් හඳුන්වන්නේ “සිරිකායා” නමින්ය. එහි රසය ද සාමාන්‍ය වටලප්පමට වඩා වෙනස්ය. ඒ මැලේවරුන් වටලප්පමට තරමක් සාදික්කා එක් කරන බැවිනි. එබැවින් එහි වර්ණය ද තරමක් අළු පැහැතිය.

තවත් ප්‍රකට මැලේ රසකැවිල්ලක් වන දොදොල් ලංකාවට හදුන්වා දුන්නේ මැලේවරුන්ය.මැලේවරුන් බහුතරයක් ජිවත්වන නගරයක් වන හම්බන්තොට දොදොල් වලට ඉතා  ප්‍රසිද්ධය, කතරගම හෝ යාල යනගමන්  දොදොල්ට වල රස බැලීමේ අවස්තාව ඇත. නමුත් දැන් දොදොල් ව්‍යාපාරයක් ලෙස කරන්නේ සිංහල ජාතිකයින්ය. අමතරව අන්නාසි හා අඹ ආදියෙන් සකස් කරන දෝසි වර්ග ගණනාවක් ද මැලේ ආහාර අතර වේ. එසේම චීනක්කුවේ (Cheenakuwe), බෝල් (Bowl), සහ සිලරේ (Silleray) වැනි රසකැවිලි ද විශේෂිතය.

ඊට අමතරව සිංහල අවුරුද්දට සාදන කැවුම් මැලේ කැවිලි වර්ගයකි , ඔවුන් එය හදුන්වන්නේ කුවේ චුචුර් (Kue Cucur) ලෙසය.කැවුම් ලෙස ලංකාවේ හැදින්වුවද කැවුම් වල උපත නැගෙනහිර ඉන්දුනිසියාවය.කැවුම් මොනතරම් ප්‍රසිද්ධ යයි කිවහොත් යටත් විජිත කාලයේදී සුද්දා කැවුම් කන්න යෝදයා ලෙස හැදින්විමෙන් එකල මැලේ කැවුම් ජනප්‍රිය වී ඇති බවය.

“මේ කෑම වර්ග වගේම තවත් මැලේ කෑම වර්ග රාශියක් අපේ ආහාර ප්‍රදර්ශනයේදී බුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම මැලේ අපිත් අපේ නිජ භූමිය වන මැලේසියා, ජාවා, සුමාත්‍රා වැනි ප්‍රදේශවලින් ඇවිත් දැන් අවුරුදු සිය ගණනක් වෙනවා. ඒ නිසා අපේ දේවල් බොහොමයක් අපෙන් ඈත් වෙලා.

“ඉතින් අපේ උරුමය අපටත් දැන ගන්න ආසයි. ඒ නිසා අපේ ලංකාවේ තියෙන මැලේසියානු සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලවලට ආරාධනා කරල තියෙනවා. මේ ආහාර ප්‍රදර්ශනයට දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් ඒ ආහාරත් බුක්ති විඳින්න අවස්ථාව තියෙනවා” යැයි ශ්‍රී ලංකා මැලේ සංගමයේ සභාපති රිල්වාන් ලන්ත්‍රා පවසන්නේ එයට සහභාගි වී ශ්‍රී ලංකාවේ ජන විවිධත්වය පෝෂණය කරන තම ප්‍රජාවගේ ආහාර රසය බුක්ති විඳින ලෙස සියලු දෙනාට ආරාධනා කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here