කළා ලොවේ නම රැන්දු ලංකාවේ මැලේවරු - SriLanka Malay- මැලේ හෙවත් ජාවා

Post Top Ad

Responsive Ads Here

කළා ලොවේ නම රැන්දු ලංකාවේ මැලේවරු

Share This
වත්මන් ලාංකික මැලේ ජන වර්ගයාගේ ඉතිහාසය 17 වැනි සියවසේ මැද භාගය දක්‌වා දිව යන්නක්‌ බැව් ශ්‍රී ලංකා ඉතිහාසය විමසීමේදී පැහැදිලි වේ. එවන් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකික මැලේවරුන් අතර විවිධ කලා ක්‍ෂේත්‍රයන්හිදී ඉස්‌මතුව කැපී පෙනුණු මැලේ කලාකරුවෝ රාශියකි. ඔවුන්ගේ ඉතිහාසය 20 වැනි ශත වර්ෂයේ තෙවැනි දශකය දක්‌වා දිව යයි.

සිංහල සිනමාව, සිංහල නාට්‍ය කලාව ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි විවිධ මාධ්‍යයන් ඔස්‌සේ සංගීතයෙන්, ගායනයෙන් නර්තනයෙන්, රංගනයෙන් සහ වෙනත් අංශයන්ගෙන්ද ග්‍රන්ථකරණය, පුවත්පත් කලාව, චිත්‍ර හා මූර්ති ශිල්පය වැනි ක්‍ෂේත්‍ර ඔස්‌සේ ද තම ප්‍රතිභාව මනාව ප්‍රකට කළ මැලේවරු රාශියකි.



20 වැනි ශත වර්ෂයේදී කලා ක්‍ෂේත්‍රයේ දස්‌කම් පෑ ආදිතමයා නර්තනයේදී තම ප්‍රතිභාව මැනවින් පෙන් වූ ටී. අයි. ජී. සල්ඩින්ය. 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ බිහි වූ හෙතෙම ස්‌වෝත්සාහයෙන් නර්තනය ප්‍රගුණ කළ තමන්ටම ආවේණික නැටුම් රටාවකින් නර්තන කලාව හැසිර වූ ශිල්පියෙකි. නර්තනයේ මෙන්ම ගායනයෙහි සහ වාදනයෙහිද එක සේ සමත්කම් පෑ හෙතෙම 1936 කොළඹ රීගල් ශාලාවේදී නර්තන ශිල්පීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් විජයාවතරණය නමින් මුද්‍රා නාටකයක්‌ රංග ගත කළේ එවක ප්‍රකට කලාකරුවන් වූ ඡේ. ඩී. ඒ. පෙරේරා, චන්ද්‍රලේඛා වැන්නවූන්ගේ සමාගමයේ හිඳිමිනි. ඔහුගෙන් ශිල්ප ලද නර්තන ශිල්පීන් අතර පසුගියදා අප අතරින් වියෝ වූ ප්‍රකට නර්තනාචාර්ය වසන්ත කුමාර ද විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු බාර නිලධාරියෙකු ලෙස සල්ඩීන් මහතා දෙවැනි ලෝක යුද සමයේ සේවය කරද්දී පසු කලෙක උගන්ඩාවේ ජනාධිපතිවරයා වූ ඉඩි අමින් ඔහුගේ රෙජිමේන්තුවේ සේවය කළ යුද සෙබළකු වීම සුවිශේෂ කරුණකි.

ටී. අයි. ඒ සල්ඩීන් ගේ පුතණුවන් වූ රූෂීන් සල්ඩීන් තම පියාගේ නර්තන කෞශල්‍යය උරුම කර ගත් පසුව විවිධ පැතිකඩ ඔස්‌සේ එය විදහා පෑ දක්‌ෂ නර්තන ශිල්පියෙකි. හේ නර්තනය වීෂයෙහි දස්‌කම් පෑවේ මෙරටදි පමණක්‌ නොවේ. ජාත්‍යන්තර වේදිකාවන් හි බටහිර හා ඉන්දීය නැටුම් සේම අරාබි සහ චීන නර්තනයන්ද දක්‌වා හේ ප්‍රේක්‍ෂක අවධානය දිනා ගත්තේය.

ලිම්බෝ නැටුම් කලාවට ගිනි නැටුම් එක්‌ කරමින් නව නැටුම් සම්ප්‍රදායයක්‌ බිහි කළ ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය හිමි වන්නේද මැලේ ජාතික රූෂීන් සල්ඩීන්ටය. ලෝක ප්‍රකට ගිනි නැටුම් ශිල්පියෙකු වූ ටි්‍රනිඩෑඩ් හි රොක්‌ ඇලන් හට එම නැටුම් ශිල්පය ඉගැන්වූ ගුරුවරයා වූ හෙතෙම එකල සිංහල සිනමාවේ ජනප්‍රිය නර්තන ශිල්පිනියක වූ මැලේ ජාතික ෆරිනා ලායිගේ ලිම්බෝ නර්තන ගුරුවරයා ද විය.

මෙරට පහළ වූ සිංහල කතානාද චිත්‍රපටය ලෙස 1947 ජනවාරි මස 21 වැනි දින ප්‍රදර්ශනය ඇරඹූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ජොසී බාබා ලෙස විකට චරිතයක්‌ රඟපෑ ජෙමිනි කාන්තා මැලේ ජාතික කාන්තාවක බව බොහෝ සිනමා ලෝලීහු පවා නොදනිති. ඇය ඥෙයි නෝනා යුහානා බක්‌ස්‌ නමැති මැලේ කාන්තාවක වූ අතර සිනමාවේදී ඇය වෙනුවෙන් යොදා ගන්නා ලද ආරූඨ නාමය ජෙමිනි කාන්තා විය.

පාසල් දිවිය අවසන්වත්ම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමට බැඳුණු ඇය එහි නිළියක සහ ගායිකාවක වෙමින් කඩවුණු පොරොන්දුව සිනමාවට නඟද්දී එහි මනප්පුවාගේ චරිතය රඟපෑ එඩී ජයමාන්න හා එක්‌ව ජොසී බබා ලෙස හාස්‍ය රංගනයක යෙදෙමින් එක්‌ රැයකින්ම ජනප්‍රිය සිනමා නිළියක වූවාය.

ග්‍රැමෆෝන් යුගයේදී සංගීත තැටි සඳහා ගී ගැයූ ගායිකාවක ලෙස නමක්‌ දිනූ ජෙමිනි කාන්තා එඩී ජයමාන්න, ඒ. එම්. යූ. රාඡ් සහ මොහිදීන් බෙග් සමඟ යුග ගායනයන්හි යෙදුණාය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ හියුගෝ ප්‍රනාන්දු ලියූ ආර්. නාරායන් අයියර් සංගීතවත් කළ තක්‌කිට තරිකිට උඩ පැන නටන්න හිතුණා - නෝනගේ ආලේ ගෙයි මැද සාලේ නමැති අතිශය ජනප්‍රිය ගීතය එඩී ජයමාන්න සමඟ ගායනා කළාය. වැරදුණු කුරුමානම චිත්‍රපටයෙහි දී ද ඇය රංගනයේ යෙදෙමින්ම එඩී සමග ගී ගැවුවාය.

වසර අටක කෙටි කාලයක්‌ තුළ චිත්‍රපට හතකට පමණක්‌ රංගනයෙන් දායක වූ ඇය විවාහයෙන් පසු සිනමාවෙන් ඉවත් වූවාය. 1992 වසරේදී ජීවිතයෙන් සදහටම සමු ගත් ඇය ඒ ආසන්නයේ බෙනට්‌ රත්නායකගේ "තරු" ටෙලි නාට්‍යයේද රඟපෑවාය.

1952 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිංහල වාදක මණ්‌ඩලයට ඇතුළත්ව 1986 දී එහි නිත්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා තෙක්‌ම ක්‌ලැරිනට්‌, හර්මෝනියම්, පියානෝ සහ ඕගන් වාදනයෙන් සේම සංගීතය මෙහෙයවිමෙන් ද දස්‌කම් දැක්‌වූ මැලේ ජාතික ටී. එෆ්. ලතීෆ් එකල ප්‍රකට ඉන්දීය ගායිකාවක වූ කේ. රාණිගේ ගීතවලට තනු නිර්මාණයෙන් සහ සංගීතයෙන් දායකවීමේ වරම් ලැබූ සංගීතඥයෙකි.

ශ්‍රී ලංකාවේ චිත්‍රාගාරයක රූගත කළ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ "බණ්‌ඩා නගරයට පැමිණීම" චිත්‍රපටයේ සංගීත වාදක මණ්‌ඩලයේ ශිල්පියෙකු ලෙසින් සිංහල සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි හේ එතැන් පටන් සිංහල සහ ලංකාවේ නිෂ්පාදන දමිළ චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවක සංගීත නිර්මාපකයා වූයේය. මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල. හරූන් ලන්ත්‍රා, ජී. එස්‌. බී. රාණි, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක හා මිල්ටන් මල්ලවාරච්චි වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක්‌ උදෙසා මියුරු එසේම ජනප්‍රිය ගී තනු රැසක්‌ නිපයූ ලතීµa මාස්‌ටර් ආර්. මුත්තුසාමි, සෝමදාස ඇල්විටිගල, පී. එල්. ඒ. සෝමපාල, සිසිර සේනාරත්න වැනි චිත්‍රපට සංගීත ශිල්පීන්ගේ රසාලිප්ත ගීත නිර්මාණ බොහොමයකට සුවිශේෂී දායකත්වයක්‌ සැපයූ සංගීතඥයෙකි.

කලා ලෝකයේ අතිශය ජනප්‍රිය වූ මැලේ ජාතිකයා වීමේ ගෞරවය හිමිවන්නේ තමන්ටම ආවේණික වූ අපූර්ව හඬකින් මියුරු ගී රාශියක්‌ ගැයූ හරුන් කුමාර් ලන්ත්‍රාටය. 1953 දී තීරයට පැමිණි ප්‍රේම තරගය චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ලන්ත්‍රා සරල ගී ගායකයකු ලෙස කිසියම් ස්‌ථාවරත්වයක්‌ ගොඩනඟා ගත්ත ද අතිශය ජනප්‍රිය වූයේ චිත්‍රපට ගී තුළිනි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ සැනසුම කොතැනද? චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට, ධර්මසිරි ගමගේ ගී පද රචකයාගේ මිහිරි පදවැලකට ගැයූ සුළං කුරුල්ලෝ" තුළින් ලන්ත්‍රා අති විශාල ජනප්‍රසාදයක්‌ දිනූ අතර එම ගීතය සම්මානයට ද පාත්‍ර විය.


එතැන් පටන් සිංහල චිත්‍රපට හතළිහකට ආසන්න ප්‍රමාණයකට ගායනයෙන් දායක වූ ලන්ත්‍රා ආනන්ද මේ රෑ සාගරේ සිහිලැල්, මගෙ නාමලී, හඳපානේ මල් පිපුණා, හද මල් පැදුරේ, හංසරාණි ආදරේ, වැනි ඔහුටම අනන්‍ය වූ මිහිරි ස්‌වරයකින් පණ පෙවුණු රසාලිප්ත ගීත 250 කට අධික සංඛ්‍යාවක්‌ ගායනා කළේය. ඔහු ගැයූ ගීත බොහොමයක සහාය ගායිකාව වූයේ සුජාතා අත්තනායකය. ලතා වල්පොල, ඉන්ද්‍රdනි විඡේබණ්‌ඩාර, ජී. එස්‌. බී. රාණි පෙරේරා වැනි ජනප්‍රිය ගායිකාවන් රැසක්‌ සමඟ ද හේ යුග ගායනයන්හි යෙදුණේය.

ලන්ත්‍රා ගැයුවේ සිංහල ගීත පමණක්‌ම නොවේ. දමිළ, හින්දි සහ මැලේ ගීත රැසක්‌ද ගැයූ හෙතම "තෝට්‌ටකාරී" වැනි ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපටවලටද ගායනයෙන් දායක වූයේය. මෙරට ගුවන් විදුලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා මෙහි පැමිණි ප්‍රකට ඉන්දීය සංගීතඥ රත්නජංකර්, ලන්ත්‍රා හැඳින් වූයේ ආසියාවේ ස්‌වර්ණමය හඬක්‌ ඇති ගායකයා ලෙසිනි. ලන්ත්‍රා සතු ගායක කෞශල්‍යය අහම්බෙන් කන වැකුණු භාරතයේ ගායක මොහොමඩ් රාµs එම හඬට වශී වූ ඔහුගේ රසිකයකු වූ බැව් පැවසේ. එදත් අදත් සංගීත ලෝකයේ ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාලගේ ප්‍රියතම ගායකයා වූයේ ද ලන්ත්‍රාය.

පසු කලෙක ජීවන මගේ බොහෝ අවුල් වියවුල්වලට මැදිව, රෝගාතුරව ස්‌වකීය කටහඬ ද අහිමි වූ නමුදු, ඒ කිසිවකින් නොසැලුණු සැහැල්ලු මිනිසකු වූ හරූන් ලන්ත්‍රා අප අතරින් වෙන්ව ගියේ මේ නොබෝදාය.

විසි වැනි සියවසේ මැද භාගයේ ප්‍රථමයෙන් ටවර්හෝල් නාට්‍යවල ගායිකාවක සහ නිළියක ලෙස කටයුතු කොට පසුව චිත්‍රපට නිළියක වූ නෝනා සුබෙයිදා මැලේ ජාතික කාන්තාවකි. අසෝකමාලා සහ දිව්‍ය ප්‍රේමය වැනි නාට්‍යවල ඇය හා ප්‍රධාන චරිත රඟපෑ නළුවකු වූ ඩොමී ජයවර්ධන සමඟ ඇය 1948 දී විවාහ වුවාය.

සිනමාස්‌ සමාගම විසින් 1953 දී නිෂ්පාදනය කරන ලද "සුජාතා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සුබෙයිදා සිංහල සිනමාවේ හැරවුම් ලCෂ්‍යයක්‌ සේ සැලකෙන රේඛාවේද රඟපෑවාය. තම සිනමා දිවිය චිත්‍රපට දිවිත්වයකට පමණක්‌ සීමා කරමින් ඉන් සමුගත් ඇය විවාහයෙන් අනතුරුව වේදිකා නාට්‍යවල පමණක්‌ රඟපෑවාය. ඇය අසෝකමාලා දිව්‍ය ප්‍රේමය, සිංහලේ රොඩී කෙල්ල, හැම්ලට්‌ වැනි ටවර්හෝල් නාට්‍ය හැටකට පමණ රංගනයෙන් සහ ගායනයෙන් දායක වූවාය. ප්‍රකට චරිතාංග නළුවකු වූ ඩොමී ජයවර්ධනයන් සිනමාවේ බොහෝ දුර ගෙවා 1979 දී තම දිවියෙන් සමු ගැනීමෙන් පසු වසර 15 ක ඇවෑමෙන් නෝනා සුබෙයිදා 1994 දී තම ජීවිතයෙන් සමු ගත්තාය. ඇයගේ පුතුන් දෙදෙනා වූ නිහාල් සහ රෝයි ජයවර්ධන තම දෙමාපියන් අනුව යමින් කලා ලෝකයේ ගායනය, රංගනය වැනි අංශයන් හි නිරත වුවද සුබෙයිදාගේ එකම දියණිය නාලනී කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ නොවූවාය.

50 දශකයේ සිට 90 දශකය දක්‌වා මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය වූ තමන්ටම ආවේණික වු ලයාන්විත ස්‌වරයකින් ගීත ගායනයේ යෙදුණු ජනප්‍රිය, දක්‌ෂ ගායිකාවක වූ ජී. එස්‌. බී. රාණි සංගීත ලෝකයේ, වෙසෙසින් ගායන ක්‍ෂේත්‍රයේ නොමැකෙන නාමයක්‌ සනිටුහන් කළ ප්‍රතිභාන්විත ශිල්පිනියකි. හෙල බසින් ගී ගැයුවද, හෙළ නාමයක්‌ දැරුවද ඇය ඥෙයි සීනර් බංසජයා නම් වූ මැලේ ජාතික කාන්තාවක බව දන්නේ අතළොස්‌සකි.
ජී. එස්‌. බී. රාණි

1944 දී ඇය ගැයූ මුල්ම ගීත යුගලය වූයේ යූ. ඩී. පෙරේරා රචනා කොට, මොහොමඩ් ගවුස්‌ මාස්‌ටර් විසින් තනු නිර්මාණය කොට සංගීතය සපයන ලද සමගි බලේ පාමු සහ සිරිසාර ගමනේ වේ එහිදී ඇගේ සහාය ගායකයා වූයේ ඒ වන විට ජනප්‍රියව සිටි දක්‌ෂ ගායකයකු වු මොහිදීන් බෙග්ය. ඇය ගායන ලොවට හඳුන්වා දෙනු ලැබුවේ ජී. එස්‌. බී. රාණි නමිනි.

ඇය මුලින්ම ගී ගැයූ චිත්‍රපටය වූයේ අශෝකාය. ඉන්පසු සුරංගනී චිත්‍රපටයේ ගී ගැයීම සඳහා අවකාශ ලද ඇය එතැන් පටන් මොහිදීන් බෙග් එච්. ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල, සිසිර සේනාරත්න, කේ. සේන, එන්. කරුණාරත්න සහ ඩබ්ලිව්. ප්‍රේමරත්න යන ගායකයන් සමඟ යුග ගී රැසක්‌ ගයා ජනාදරයට පාත්‍ර වූවාය.

ඇය 1953 පෙබරවාරි මස 17 වැනි දින ඇන්ටන් පෙරේරා සමඟ විවාහ වූවාය. 60 දශකය එළැඹෙන විට ජනප්‍රිය ගායිකාවක වූ ඇය ගුවන් විදුලි ශිල්පිනියකද වූවාය.

ඇය 1953 පෙබරවාරි මස 17 වැනි දින ඇන්ටන් පෙරේරා සමඟ විවාහ වුවාය. 60 දශකය එළැඹෙන විට ජනප්‍රිය ගායිකාවක වු ඇය ගුවන් විදුලි ශිල්පිනියක ද වූවාය. විවාහයෙන් පසුව ඈ ජී. එස්‌. බී. රාණි පෙරේරා වූවාය.

සුරතලි, දස්‌කම, ගැහැණු ගැට, දෙයියන්ගේ රටේ, දේවසුන්දරි ඇතුළු චිත්‍රපට 37 ක අතිශය ජනප්‍රිය ගීත රාශියක්‌ ගැයූ ඇය සිරිසඟබෝ, රොඩී කෙල්ල, දස්‌කොන්, වැනි ටවර් හෝල් නාට්‍යවලටද සුරංගනී, දුප්පතාගේ දුක චිත්‍රපටවලට ද රංගනයෙන් ද දායක වූවාය. ඇය ගී ගැයු අවසන් චිත්‍රපටය වූයේ මහ රෑ හමුවූ ස්‌ත්‍රිය යි.

පුරා දශක හයක්‌ තම අපූර්ව කටහඬින් ගීත ලෝලීන් පින වූ මැලේ ජාතික කාන්තාවක වූ ඇය 2004 සැප්තැම්බර් මස ඇය අවසන් හුස්‌ම හෙළුවාය.

මැලේ ජාතික තුවාන් හලාල්ඩීන් ෂෙරී සුවිශේෂී වන්නේ හේ සරලා බායි නමින් නාට්‍යාංගනාවක ලෙස වේදිකාවේ පෙනී සිටිමින් 40, දශකයේ සිට 80 දශකය දක්‌වා වසර 50 ක කාලයක්‌ ටවර් හෝල් නාට්‍යාංගනාවක ලෙස ලද අසීමිත ජනප්‍රසාදය හේතුවෙනි.

සරලා බායි


ටවර් හෝල් නාට්‍ය කණ්‌ඩායමේ නිත්‍ය නාට්‍යාංගනාවක්‌ ලෙස බඳවා ගැනුණු සරලා බායි ප්‍රථමයෙන් වේදිකාවට පිවිසියේ 1941 මැයි මස 29 වැනි දින ඉලැක්‌සන් ඝෝෂාව නම් වූ නාට්‍යයේ රැඟුම් පාමිනි. එතැන් පටන් විමලා කාන්තා, පර්ල් වාසුදේවි, සිමියොන් සිල්වා, ඇලන් රත්නායක, කමලා කාන්තා වැනි ප්‍රකට ටවර් ශිල්පීන් සමඟ විධුර ජාතකය, මාරණාභරණ දුෂ්ට නීතිඥයා, උම්මංග ජාතකය, පද්මාවතී, පණ්‌ඩුකාභය රාමයනය සමුද්‍ර දේවි ඔතැලෝ මායාදුන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ, රොඩී කෙල්ල, රෝමියෝ ජුලියට්‌, සිවම්මා ධනපාල වැනි ටවර් හෝල් නාට්‍ය සිය ගණනක රංගනයෙන් සහ නර්තනයෙන් ඇය දස්‌කම් පෑවාය. එකල සරලා බායි අතිමහත් ජනප්‍රසාදයක්‌ දිනූ ටවර් ශිල්පිනියක වූවාය.

ටවර් හෝල් යුගයේ අපූර්ව චරිතයක්‌ වූ සරලා 80 දශකය තෙක්‌ම රංගනයේ යෙදුණු. 90 දශකයේ මැද භාගයේදී ලියුකේමියා රෝගයට ගොදුරු වූ සරලා බායි හෙවත් ටී. එච්. ෂෙරීෆ් 1996 ජනවාරි මස 24 දින ජීවිත රඟමඩලෙන් සදහටම සමු ගත්තාය.

ලිම්බෝ නර්තන ශිල්පිනියක ලෙස කලා ලොවට අවතීර්ණ වී හුදු නාට්‍යාංගනාවක ලෙස රිදී තිරයට පිවිස දිගු කලක්‌ එම භූමිකාවට පමණක්‌ සීමා වුවද පසුව සියුම් චරිත නිරූපණයෙන් තම ප්‍රතිභාව පෑ µරිනාලයි සම්මානයීය මැලේ ජාතික චිත්‍රපට නිළියකි.

දහසය වැනි වියෙහිදී දේශීය දමිළ චිත්‍රපටයක්‌ වු මංජල් කුංකුමම් චිත්‍රපටයේ නෘත්‍යාංගනාවක ලෙස පෙනී සිටීමෙන් සිනමාවට පිවිසි ඩේන් එන්සී µරීනා හාති ඇගේ නාමය කලා ලෝකයට උචිත ලෙස µරීනා ලායි ලෙස වෙනස්‌ කළාය. 1969 වසරේ රිදී තිරයට පිවිසීමෙන් අනතුරුව දශක තුනකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ සැණකෙළිය මල් කැකුළු සීමා පවුරු සුරේඛා ඔහොම හොඳද චිංචිං නෝනා, සරුංගලය, උතුමාණෙනි, පොඩි මල්ලි, තවලම වැනි චිත්‍රපට හැටකට අධික සංඛ්‍යාවකට නර්තනයෙන් හා රංගනයෙන් දායක වූ ඇය සිනමා සක්‌විති ගාමිණි ෙµdන්සේකාගේ මඟ පෙන්වීමෙන් දක්‍ෂ චරිතාංග නිළියක වූවාය. ඒ හේතුවෙන් ඇය සරසවි ඕ. සී. අයි. සී, ජනාධිපති වැනි සම්මානයන්ට පාත්‍ර වූවාය. පියවරෙන් පියවර සිනමා රංගනය ඔස්‌සේ මුහුකුරා ගිය ඇය තම විවාහයෙන් පසු මුළුමනින්ම කලා ලොවින් ඉවත් වූවාය.

සිංහල සිනමාවේ ස්‌වර්ණමය යුගයේ එය නියෝජනය කළ චන්ද්‍රකලා ද මැලේ ජාතික කාන්තාවකි. සිත්ති හරීරා තාජුඩීන් නම් වූ ඇය ප්‍රථමයෙන් දෙමළ නාට්‍යවල රඟපා පසුව නර්තන ශිල්පිනියක ලෙස සිනමාවට පිවිස චන්ද්‍රකලා නමින් ප්‍රකට වූවාය. ධීවරයෝ චිත්‍රපටයේ ගීතයකින් නර්තනයට එක්‌ වූ ඇය සිංහල චිත්‍රපට මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දමිළ චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයකට නර්තනයෙන් දායක වෙමින් පසු විමලානාත් දිසානායකගේ මාතෘභූමි චිත්‍රපටයෙන් රංගන ශිල්පිනියක ද වූවාය.
චන්ද්‍රකලා

දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් දකුණු පාදය සැත්කමකින් ඉවත් කිරීමෙන් රෝද පුටුවකට සීමා වූ ඇය බණ්‌ඩාරගම තම බාල පුතුගේ නිවසේ කල් ගෙවන්නීය.

විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි ස්‌වකීය නම රැන්දූ මැලේවරු අතර ගායන ක්‍ෂේත්‍රයේදී තම හැකියාවන් ප්‍රකට කළ ටෝනි හසන් ද ප්‍රමුඛ නාමයකි. තුවාන් අලි මුඩීන් හසන් ඉතා කුඩා අවධියේදීම ගායන ක්‍ෂේත්‍රයට එක්‌ව ගුවන් විදුලියේ "ඒ" ශ්‍රේණියේ ගායකයකු වූ තම මයිලනුවන් වන ටී. කේ. හනිෆාගේ ගුවන් විදුලි ගීතයකට අත්වැල් ගායනයෙන් එක්‌ විය. 1967 දී ගුවන් විදුලියේ "ඒ" ශ්‍රේණියේ ගායකයකු වෙමින් ටෝනි හසන් ලෙසට ප්‍රකට වූ හෙතෙම චිත්‍රපට රාශියකට පසුබිම් ගායනයෙන් දායක වූ ජනප්‍රිය ගායකයෙකි.

ටෝනි හසන්


සිංහල ගී ගැයූ මැලේ ගායක පරපුරේ වත්මන් දීප්තිමත් තාරකාවක ලෙස උමාරියා සිංහවංශ හැඳින්වීම නිවැරදිය. පවුලේ සාමාජිකයන් සියල්ලෝම සංගීතයෙහි නිරතවීමෙන් හේතුවෙන් බාල වියෙහිදීම ගායනයෙහි කුසලතා ප්‍රකට කළ උමාරියා වත්මන් සංගීත ලෝලීන් අතර ඉහළ ජනප්‍රියතාවයක්‌ ලැබුවේ භාතිය සහ සන්තුෂ් සමඟ පැතූ පෙම් පැතුම් සහ ආසයි මං පියාඹන්න යන ගීත සඳහා දායක වෙමිනි. චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අවකාශ ලද ඇය 2014 වසරේදී ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සමඟ යුග ගීතයත් ගැයීමේ දුර්ලභ අවස්‌ථාව උදා කර ගන්නට සමත් වූවාය. ඒ අරුණ ජයවර්ධන රචනා කළ හන්තාන සිහිනය යුග ගීතය අමරදේවයන් සමඟ ගැයීමෙනි. ඇය සංගීත ක්‍ෂේත්‍රයේ දිගු ගමනක මඟ සලකුණු ප්‍රකට කරන දීප්තිමත් යෞවන මැලේ ජාතික ගායිකාවකි.
උමාරියා සිංහවංශ 



ෆාතිමා රම්සිනා ජපර් ද ගායක හැකියාවන් දැක්‌වූ මැලේ ජාතික ගායිකාවකි. සංගීතය ප්‍රගුණ කොට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගායක කණ්‌ඩායමෙහි නිත්‍ය ගායිකාවක ලෙස සේවය කරන රම්සිනා 2012 වසරේ දෙරණ රූපවාහිනී නාළිකාවේ "ඩී්‍රම් ස්‌ටාර් සීසන් 4" අවසන් තරගාවලියේ අවසන් 12 දෙනා අතරට පැමිණි ගායිකාවකි.
ෆාතිමා රම්සිනා ජපර් 

තුවාන් ශාන් හසීම් ද ගායනයෙහි දස්‌කම් පාන යොවුන් මැලේ ජාතික ගායකයෙකි. ඉතා කුඩා අවධියේදීම ගායනයට පිවිසි හේ 2007 වසරේ සිටම විවිධ ප්‍රසිද්ධ ගායන තරගාවලින් ජය ලබමින් 2009 වසරේදී දෙරණ ඩී්‍රම් ස්‌ටාර් ප්‍රථම අදියරේ අවසන් වටයේ 10 දෙනා අතර ගායකයකු විය. අනතුරුව හේ ප්‍රේමය උසයි ආදරේ තරම් වැනි ජනප්‍රිය ස්‌වීය ගී මඟින් ගීත ලෝලීන් අතර නමක්‌ දිනා ගනිමින් සිටී.
තුවාන් ශාන් හසීම් 


සිංහල සිනමාව සඳහා චිත්‍රපට සංස්‌කරණයෙන් දායක වු ප්‍රමුඛ මැලේ ශිල්පීන් දෙදෙනෙකි. ඒ. ටී. කමූර් සහ එම්. එස්‌. අලිමාන් වන ඔවුන් චිත්‍රපට රාශියක්‌ සංස්‌කරණය කළ දක්‌ෂ සම්මානලාභී සංස්‌කරණ ශිල්පීන් වේ. ඒ. ටී. කමූර්ගේ සොහොයුරු ඒ. ටී. ජොහාර් ද ප්‍රකට රසායනාගාර ශිල්පියෙකු විය. එම්රාන් ඩීන් ගුවන් විදුලි ශිල්පියෙකු, ටෙලි නාට්‍ය නළුවකු ග්‍රන්ථකරණයේ නියෑළෙන්නකු ලෙස තම නිසඟ හැකියාවන් පෙන් වු මැලේ කලා ශිල්පියෙකි. එසේම ෆයිසාල් බොන්සෝ ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ තම හැකියවාවන් පෙන් වූ දක්‍ෂ මැලේ ජාතික නිවේදකයෙකි.
ස්ටැන්ලි ඔමාර්, බිරිය මුෂිනා සමඟ


වේදිකා  නාට්‍ය සහ චිත්‍රපට රැසකට සංගීතයෙන් දායක වූ ස්‌ටැන්ලි ඕමාර්, ගුවන් විදුලි ශිල්පීන් වූ ඥයි රහීම් සහීඩ්, එම්. එන්. මිහිරාඡ්, ශෆා, මහමුඩ් සිත්ති නිහාරා සමුර්ඩීන් කුමාලා සවුජා, මොහොමඩ් නූර් අබ්බාස්‌ ද මැලේ ජාතිකයෝය.

ස්වාධින රුපවාහිනි සේවයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස සේවය කරන ඉම්රාන් හමීඩ් ද මැලේ ජාතිකයෙකු වෙනවා,

 ඉම්රාන් හමීඩ්  


ඊට අමතරව මතභේදයට තුඩුදුන් රගර්  මියගිය ක්‍රීඩක වසීම් තජුදින්  හා වර්තමාන ජාතික රග්බි ක්‍රීඩාවේ නායක ෆසිල් මරිජා ද මැලේ ජාතිකයින් වෙනවා.
ෆසිල් මරිජා 
කලා ලෝකයේ සෙසු කලාකරුවන් අතර මැලේ ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පීන් විරලය අතළොස්‌සක්‌ වූ එවන් චිත්‍ර හා මූර්ති ශිල්පීන් අතර වර්නෝන් සල්ඩීන් සහ නාසිරින් සමීදීන් ප්‍රමුඛයන් වේ. සෆ්රාස්‌ මෙහෙමූර් නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි නිර්මාණකාරණයේ යෙදුණු ගුවන් විදුලිය ප්‍රධාන තවත් විවිධ විෂයය ඇසුරු කළ මැලේ කලාකරුවෙකි. ග්‍රන්ථකරණයේ මෙන්ම පුවත්පත් කලාවේද වෙනස්‌ විවිධ කලා අංශයන් හි ද පැතිර ගිය මැලේවරු රැසකි.

1 comment:

  1. විශිස්ඨ ලිපියක්. අහම්බෙන් මෙය මා හට කියවන්න ලැබුනේ. මැලේ කලාකරුවන් පිළිබඳව කරුණු රැසක් එකතු කොට ලියා ඇති බැවින් මෙම ලිපිය කාටත් ප්‍රයෝජනවත් ලිපියක්. ජයවේවා.

    ReplyDelete

Post Bottom Ad

Responsive Ads Here